Monday, May 5, 2014

DramaFever සම්මාන උළෙල 2013

ගතවුණු දවස් ගාණම මම බොහොම කම්මැලිකමින් සහ සන්තෝසෙන් කොරියානු ටෙලි නාට්‍ය කිහිපයක්ම නරඹමින් ගත කල නිසා බ්ලොග් පිටුව යාවත්කාලීන කරන එක මගහැරුණා. ඉතින් ආයෙමත් බ්ලොග් පිටුවට ලියන්න ඕනෙ කියලා හිතුනු නිසා අද මම ඔයාලට අලුත් ආරංචිය අරගෙන එනවා. 



ඊයේ, ඒ කියන්නෙ මැයි හතරවෙනිදා රාත්‍රියේදී 2013 වසරේ විකාශය වුණු ටෙලිනාට්‍ය සඳහා වන DramaFever සම්මාන උළෙල පැවැත්වුණා. එහිදී විවිධ අංශ යටතේ සම්මාන රාශියක් පිරිනැමුණා. මේ සම්මාන රාත්‍රියේදී 2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ලෙස සම්මාන ලැබුවේ The Heirs නාට්‍යයයි. 


එම නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ Park Shin Hye වසරේ හොඳම නිලිය ලෙස සම්මාන ලැබුවා.


The Heirs නාට්‍යයේ ප්‍රධාන පිරිමි චරිතය රඟපෑ Lee Min Hoo වසරේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවා.



වසරේ හොඳම සිප ගැනීමේ දර්ශනය Running Man නාට්‍යයට හිමිවුණා. 
2013 වසරේ ඇසට රසවත්ම පෙනුමැති සරාගී නළුවාට හිමි Hottest Eye Candy සම්මානය The Heirs නාට්‍යයේ රඟපෑ Kim Woo Binට හිමිවුණා. 



කිසිදා එක් නොවන ඒක පාර්ශවික ප්‍රේමයේ යුවළ ලෙස සම්මාන ලැබුවේ The Heirs නාට්‍යයේ Kim Woo Bin සහ Park Shin Hye ටයි.



සහාය නළුනිළියන් ලෙස The Heirs නාට්‍යයේ රඟපෑ  Krystal Jung සහ Kang Min Hyuk දෙපොළට වසරේ හොඳම පෙම් යුවල ලෙස සම්මාන ලැබුණා. 



මම ගොඩක්ම කැමති ටෙලි නාට්‍යයක් වන The Master's Sun තමයි වසරේ හැඟීම්බරම දර්ශන සහිත නාට්‍යය ලෙස සහ හොඳම සිනමාකරණය සඳහා වූ සම්මාන දෙකම දිනාගත්තේ. 

දැන් ඉතින් ඔයාලා තවම The Heirs සහ Master's Sun කියන නාට්‍යය බලලා නැත්නම් ඉක්මනටම ඒවා නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. 

Thursday, March 27, 2014

Lee Min Hooගේ පෙම්වතිය අසලියා මල ද?



බොහෝ දෙනෙක් ආදරය කරන Lee Min Hoo ගේ පෙම්වතියන් ගැන කටකතා බොහොමයක් පැතිරෙන එක ගැන ඉතින් අහන්න දෙයක්ද? හැබැයි මේ කටකතා අතරින් සත්‍යට බොහොම ලඟ වුණේ Lee Min Hoo සහ Park Min Young අතර ඇතැයි කියපු ප්‍රේම සම්බන්ධයයි. එතකොට කවුද මේ  Park Min Young කොරියාවෙ නම් බොහෝ දෙනක් ඇයව දන්නෙ City Hunter ටෙලි මාලාවේ Lee Min Hooගේ පෙම්වතිය ලෙස රඟ පෑ යුවතිය ලෙසයි. හැබැයි අපි නම් එයාව දන්නෙ අසලියා මල විදිහටයි. ඔව්, Park Min Young හෙවත් අසලියා මලට Lee Min Hoo පෙම් කලා කියලා තමයි ඔන්න කතාව. 

මේ දෙන්නගෙ මේ පලහිලව්ව ඇති වෙලා තියෙන්නෙ City Hunter නාට්‍යයේ රඟ පෑමට එක් වුණු කාලයේදීයි. City Hunter  නාට්‍ය   රූගත කිරීම් අවසාන වෙද්දි තමයි මේ දෙන්නා තමන්ගේ ප්‍රේම සම්බන්ධය ගැන ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන්නෙ. මේ දෙන්නා පෙම්වතුන් වුණේ City Hunter  රූ ගත කිරීම් වලදී වුණත්, මේ දෙන්නා මුලින්ම මුණ ගැහිලා තියෙන්නෙ 2007 වසරේදී රූගත කෙරුනු I Am Sam කියන නාට්‍යයේදීයි. එදා Park Min Young ප්‍රධාන චරිතයක් රඟ පෑවට Lee Min Hoo නම් ලැබිලා තිබුණේ සුළු චරිතයක් විතරලු. කොහොම හරි City Hunter නාට්‍ය රූගත කෙරුණු කාලෙදී දෙන්නත් එක්ක එහෙමෙහෙ තැන්තැන් වල තේ කෝපි බොන්න ගිය මේ දෙන්නගෙ යාළුකම ටික කාලෙකින් ඉක්මනටම ආදරයක් බවට හැරුණලු. 

මේ කුරුළු ජෝඩුව තිරයේදී වගේ හැබෑ ජීවිතයේදීත් හරිම ආදරබර ජෝඩුවක් කියලයි දන්න දැකපු අය නම් කියන්නෙ. හැබැයි ඉතින් රසික රසිකාවියන් බොහෝ දෙනෙකුගේ කණගාටුවට මේ දෙන්නගෙ ප්‍රේම සම්බන්ධෙ ලප් තැනම ලොප් වෙලා. 

මේ විදිහට Lee Min Hoo ගෙයි, අපේ අසලියා මලෙයි ප්‍රේමය ඇණ හිටීමට හේතු ලෙස ඒගොල්ලො පෙන්වලා දීලා තියෙන්නෙ ඒගොල්ලන්ගෙ අතිශය කාර්යබහුල රාජකාරි ජීවිතයත් එක්ක එකිනෙකා වෙනුවෙන් කාලය කැප කරන්න වෙලාවක් නැතිකමයි. හොඳකට කියලා තියෙන්නෙ අනිත් බොහොමයක් තරුණ ජෝඩු වගේ රණ්ඩුසරුවල් කරගන්නෙ නැතුව මේ දෙන්න එකිනෙකා එක්ක කතා වෙලා සහයෝගෙන් අයින් වුණු එකයි. 

හැබැයි මේ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් තමන් වෙන් වුණු බව ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කරලා නැහැ. මේ නිසා මෙයාලගෙ රසික පිරිස් මේ දෙන්නා වෙන් වුණා කියලා පිලිගන්න අකමැතියිලු. Lee Min Hooගේ පෙම්වතිය වෙන්න බලාගෙන ඉන්න රසිකාවියන්ටත්, අසලියා මලේ ආදරය ලබා ගන්න කැමති තරුණයින්ටත් මේක නම් ඔන්න සුබ ආරංචියක් නෙවෙයි. 

Sunday, March 23, 2014

Master's Sun




නම: Master's Sun
වර්ගය: සංත්‍රාස, රොමෑන්තික
කොටස්: 17
විකාශය වූ වසර: 2013
විකාශය වූ නාලිකාව: SBS

මේ කතාව සාමාන්‍යයෙන් අපි නරඹන ඒවාට වඩා ටිකක් වෙනස් විදිහේ එකක්. කතාව කියෙව්වට බලන්න වැඩි කැමැත්තක් ඇති නොවුනත්, මේක ඔයාල බලන්නම ඕනෙ කතාවක්. මේ කතාව බොහෝම සිත් ඇදගන්නසුළුයි. 
මේ කතාව ගෙතෙන්නේ  Tae Gong Shil කියන ගැහැණු ළමයා වටායි. ඇය වරක් හදිසි අනතුරකට මුහුණ පෑ කෙනෙක්. එදා ඉඳලා Tae Gong Shilට තමන් ඉන්න අහළ පහළ සැරිසරන විවිධ අවතාර පේනවා. මේ හේතුව නිසා ඇය නිතරම ඉන්නෙ බොහොම බයෙන්. එයාගෙ ජීවිතේ බොහෝ දෙවල් මේ හේතුව නිසා වෙනස් වෙනවා. තමන්ගේ මේ අරුමපුදුම හැකියාව නිසා බොහොම දුක් විඳින  Tae Gong Shil , හරිම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නෙ. ඇයගේ හැකියාව දැන ගන්න මන්තරකාරියක් බොහොම පහත් විදිහට ඇයව පාවිච්චියට ගන්නවා. ඒ විතරක් නෙමෙයි, බොහෝ අවතාර තමන්ගෙ දුක කියන්න, කලකිරීම් ගැන කියන්න, කේන්තිය පල කරන්න යොදා ගන්නෙත්  Tae Gong Shil ව තමයි. 

මේ අතරතුරේදී තමයි  Tae Gong Shil ට Joo Joong Won කියන ධනවත් ව්‍යාපාරිකයාව මුනගැහෙන්නේ. ඔහු ලෝකයේ සෑම දෙයක්ම මුදලින් මනින කෙනෙක්. ඔහු වරක් විවාහ වෙලා, ඔහුගේ බිරිඳ මිය ගිහින්. පුදුමෙකට වගේ  Tae Gong Shil Joo Joong Wonව ස්පර්ශ කරන හැම මොහොතකම  Tae Gong Shil ට අවතාර පෙනෙන එක, අවතාර වලින් කරදර වෙන එක නතර වෙනවා. තමන්ගේ මිය ගිය බිරිඳ තමන්ගෙන් සඟවා තැබූ රහසක් සොයා ගන්නට Joo Joong Won,   Tae Gong Shil ව යොදා ගන්න හිතන්නෙ මෙන්න මේ කාරණාව නිසයි. Joo Joong Won කොයිතරම් නපුරෙක් වුණත්,  Tae Gong Shil ට අවතාර වලින් ගැලවෙන එකම මාර්ගය Joo Joong Won වුන නිසා ඔහු කියන ඕනෑම දෙයක් කරන්නට  Tae Gong Shil සිද්ධ වෙනවා. 


Pretty Man



නම: Pretty Man
කොටස්:16
විකාශය වූ වසර:2013
විකාශය වූ නාලිකාව: KBS2

Dokgo Ma-Te කියන්නේ ලොකයේ ඉන්න කඩවසම් බවින් වැඩිම පිරිමියායි. එයාගේ රූපය වගේම එයාට තියනවා ලොකු අහංකාරකමකුයි ජයගන්න ලොකු ඉලක්කයි. Dokgo Ma-Teට වුවමනා කරනවා තමන්ගේ මේ කඩවසම් රූපය පාවිච්චි කරලා බොහොම බලවත්, ධනවත් කෙනෙක් වෙන්න. මේ අතරවාරයේදී තමයි Dokgo Ma-Te ට Hong Yoo-Raව මුනගැහෙන්න.ඇය ඉතාම ධනවත් කාන්තාවක්. ඇය හා සමානම ධනවත් පවුලක  හිටපු ලේලිය වන්නේ ඇයයි. ඇය ඉදිරිපත් වෙනවා Dokgo Ma-Teගේ ඉලක්ක සපුරා ගන්න උදව් කරන්නට. ඇයගේ විධානය අනුව Dokgo Ma-Teට සිද්ධ වෙනවා ලෝකයේ විවිධ අංශ වලින් බලවත් වූ කාන්තාවන් දහ දෙනෙකු තමන්ගේ වසඟයට ගන්න.

 මේ කාලෙදි තමයි Dokgo Ma-Teගෙ අසල්වාසියෙකු වන Kim Bo-Tong, Dokgo Ma-Te ට හමුවෙන්නෙ. ඇය Dokgo Ma-Te ගැන සිහින මවන දයාබර ගැහැණු ළමයෙක්. ඇය තමන්ට හැකි පමණින් Dokgo Ma-Teට උදව් කරන්න කැමතියි. නමුත් Kim Bo-Tong ට පුළුවන් වේවිද Dokgo Ma-Teගේ හිත දිනා ගන්න?


Saturday, March 15, 2014

Full House Take 2



නම: Full House Take 2 
වර්ගය: රොමෑන්තික
කොටස්: 16
විකාශය වූ නාලිකාව: SBS Plus
විකාශය වූ වසර: 2012

ලංකාවේ අපි බොහෝ දෙනෙක් කොරියානු නාට්‍ය නරඹන්න පටන් ගන්න Full House ටෙලි නාට්‍ය හේතු වුණා. බොහෝ දෙනෙක් Full House ගැන දැනටමත් දන්න නිසා මං හිතුවා ඔයගොල්ලො බොහෝ දෙනෙක්  උනන්දු Full House Take 2 නාට්‍ය ගැන අද කතා කරන්න. මේ නාට්‍යයත් ඉතාම සුන්දර කතාවක්.

මේ නාට්‍යයත් ගෙතිලා තියෙන්නෙ Full House කියලා නම් කරලා තියන විශාල සොඳුරු නිවහනක් වටායි. මේ නිවසේ පාරම්පරික උරුමක්කාරයා තමයි Tae-lk. ඔහු සුපිරි තාරකාවක් වුණේ  තමන්ට අයිති  Full House නිවස සින්න වීමෙන් බේරා ගැනීමට.Tae-lk ගේ දෙමාපියන්ගේ මරනය නිසා තමයි Tae-lkට කුඩා අවධියෙදී තමන්ගේ නිවහන අහිමි වෙන්නෙ. Tae-lkට කාලයකට පෙරදී Jang Man-ok ව උත්සවයකදී හමු වෙනවා. Jang Man-ok දැන් මාෂල් ආට් පුහුණුකාරිනියක්. හැබැයි මෙයා ලඟට වැඩිපුරම එන්නෙ දුප්පත් පුංචි දරුවෝ.Jang Man-ok තමන්ගෙ සීයාට හොරෙන් අන්තර්ජාලයේ විලාසිතා ඇඳුම්පැලඳුම් විකුණන ආයතනයක් පවත්වා ගෙන යනවා. ඇය බොහෝම කැමතියි හැඩගන්වන්නියක් වෙන්න.

 Tae-lk, Take One කියන ප්‍රසිද්ධ යුගල කණ්ඩායමේ ගායකයෙක්. මේ කණ්ඩායමේ අනෙක් ගායකයා තමයි Won Kang Hwi. මේ දෙන්න එකම කණ්ඩායමේ වුනත් Tae-lk ට Won Kang Hwi ව පෙන්නන්න බෑ. දවසක්, Tae-lk, Won Kang Hwi එක්ක තරහා වෙලා තනියම වේදිකාවේ ගායනා කරනවා. හදිසියේම Tae-lk ක්ලාන්ත ගතියක් ඇවිත් වේදිකාව මත ඇද වැටෙන්නටට යනවා. මේ වෙලාවේ Won Kang Hwi තමයි වේදිකාවට ඇවිත් ඔහුව අවස්ථානුකූලව බේරා ගන්නෙ.Tae-lk මේ විදිහට හදිසියේ අසනීප වුණේ, ඔහුගේ විලාසිතා හැඩගන්වන්නිය ඔහුට විස වෙන රෙදි වර්ගයක් ඇති ඇඳුම් තෝරාගෙන තිබුණු නිසයි. මෙයින් කෝපයට පත්වෙන Tae-lk ඇයව පන්නා දමනවා.

Jang Man-ok දවසක් තමන්ගෙ ස්කූටියෙන් හදිසි ගමනක් යමින් සිටිනවා. මේ වෙලාවේදී එක්තරා මනුස්සයෙක් ඇයව පාර මැද නවත්ත ගන්නවා. Jang Man-ok ගේ පුදුමයට මේ පුද්ගලයා තමයි සුපිරි ගායක Tae-lk. නමුත් මේ දෙන්නාටම මතක නෑ තමන් කුඩා කාලෙදි එකිනෙකා දැන හඳුන ගත් බව. 

Friday, March 14, 2014

Lee Min-ho



ඔන්න අද අපි කතා කරන්න යන්නෙ කොරියානු ටෙලි නළුවන් අතර ඉතාමත්ම කැපී පෙනෙන දක්ෂ, කඩවසම්, ජනප්‍රිය නළුවෙකු පිළිබඳවයි. ඔහු නමින් Lee Min-ho.

Lee Min-ho කියන්නේ කොරියානු ටෙලි නාට්‍ය නරඹන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම නළුවායි. ඔහු 1987 ජූනි මස 22 දින උපත ලැබූ දකුණු කොරියානු ජාතික තරුණයෙක්. ඔහු නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක් සේම නිරූපණ ශිල්පියෙකු ලෙසද ප්‍රසිද්ධයි. Lee Min-ho වඩාත්ම ප්‍රසිද්ධියට පත්වුණේ Gu Jun-pyo ලෙස ඔහු Boys over Flowers  නාට්‍යයේ කළ රඟපෑමටයි. 

ඔහු මුලින්ම රංගනයෙන් දායකත්වය සැපයූයේ EBS නාලිකාවේ විකාශය වූ Secret Campus නම් ටෙලි නාට්‍යයටයි. කුඩා කලදී පාපන්දු ක්‍රීඩකයෙකු වීමට සිහින දැක්කද අවසානයේදී Lee Min-ho නතර වුණේ පුංචි තිරයෙන්. මෙම නාට්‍යයේ රඟපෑමෙන් අනතුරුව 2008 දී Lee Min-ho දරුණු හදිසි අනතුරකට මුහුණ දෙනවා. ඉන් සුවය ලැබීමෙන් අනතුරුව 2009 වසරේදී ඔහු රඟපෑBoys over Flowers නාට්‍යය ඉතාමත්ම ජනප්‍රිය වෙනවා. ඔහුගේ චරිතයට බොහෝ ප්‍රේක්ෂක ජනතාව ඇලුම් කරනවා. Lee Min-ho ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ  Gu Jun-pyo චරිතයයි. 

2010 වසරේදී ඔහු Personal Taste නම් ටෙලිනාට්‍යයේ රඟපානවා. මෙම නාට්‍යයත් ඉතාමත්ම ජනප්‍රිය වුණා. 2011 වසරේදී ඔහු City Hunter නම් ක්‍රියාදාම සහ රොමෑන්තික ටෙලි නාට්‍යයේ රඟපෑමට දායක වුණා. මෙම නාට්‍ය Lee Min-ho ගේ ජනප්‍රියත්වය ආසියාතික රට වල පැතිරී ගියා. ඉන් අනතුරුව 2013 වසරේදී ඔහු The Heirs  නාට්‍යයේ කළ රංගනයත් බොහෝ රසික රසිකාවියන්ගේ ඇගයීමට ලක්වෙමින් පවතිනවා.එක් වැඩිමහල් සොහොයුරියක් සිටින Lee Min-ho, මේ වන විට Konkuk විශ්වවිද්‍යාලයේ සිනමාව සහ චිත්‍ර කලාව හදාරනවා.  

Sunday, March 9, 2014

Playful Kiss


නම: Playful Kiss 
වර්ගය:රොමෑන්තික, සුඛාන්ත
කොටස්: 16 
විකාශය වූ වසර:2010
විකාශය වූ නාලිකාව: MBC

Oh Ha Ni කියන්නෙ බොහොම ප්‍රීතිමත්, සැහැල්ලුවෙන් හිතන, නිතරම දඟකාරකම් නිසා කරදරේ වැටෙන පාසල් දැරියක් . හැබැයි ඉතින් මෙයා ඉගෙන ගන්න නම් වැඩිය කැමැත්තක් නෑ. ඔන්න අපි එයාගෙන් ඇහුවොත් කොරියාවෙ ඉන්න තරුණ ගායකයින්ගේ නම්ගම් එහෙම, මෙයා වරු ගාණක් වුනත් ඒ ගැන නම් කියවයි. කොටින්ම කිව්වොත් හැමදාම තමන්ගෙ වසරේ අඩුම ලකුණු ගන්නෙ Oh Ha Ni. 

Oh Ha Niට පාසලේදිත් ගෙදරදිත් තියන ලොකුම රාජකාරිය තමයි තමන් රහසින් ආදරය කරන කඩවසම් තරුණයා ගැන සිහින දකින එක. මේ තරුණයාගෙ නම Baek Seung Jo. ඔහුත් Oh Ha Niගෙම පාසලේ ශිෂ්‍යයෙක්. Baek Seung Jo තමයි පාසලේ ඉන්න දක්ෂම, දීප්තිමත්ම ශිෂ්‍යයා. එයාට මෝඩ, බොලඳ කෙල්ලන්ව පේන්න බෑ!

ඔන්න දවසක්දා Oh Ha Ni, Baek Seung Joට පෙම් හසුනක් ලියනවා. පසුවදාම මේ පෙම් හසුනට Baek Seung Jo ගෙන් පිළිතුරු ලැබුනත් ඔහු කරලා තියෙන්නෙ Oh Ha Niඑව්ව ලිපියේ අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වැරදි ලකුණු කරලා බොහොම අඩු ලකුණකින් එයාව පාස් කරන එක විතරයි!

මේ අතරතුරේදී Oh Ha Niගේ පියා අලුතින්ම සාදවපු නිවස පුංචි භූමිකම්පාවකින් කඩා වැටෙනවා. ඒ නිසා Oh Ha Ni ගේ පියාට සිද්ධ වෙනවා තමන්ගෙ පරණ හිතවතෙකුගේ නිවසේ තාමකාලිකව පදිංචියට යන්න. Oh Ha Niගේ වාසනාවකටදෝ අවාසනාවකටදෝ මන්දා මේ හිතවතාගෙ වැඩිමහල් පුත්‍රයා තමයි Baek Seung Jo



Princess Hours


නම: Princess Hours 
වෙනත් නම්:궁/宫/Goong/Palace
වර්ගය: රොමෑන්තික
කොටස්:24
විකාශය වූ නාලිකාව:MBC
විකාශය වූ වසර: 2006

Chae-gyeong කියන්නෙ උසස්පෙළ කලා විෂය හදාරන පහළ මධ්‍යම පාංතික දැරියක්. දවසක්දා ඇයට බොහොම අරුමපුදුම ආරංචියක් ලැබෙනවා. ඒ තමයි, මීට කාලෙකට කලින් කොරියාවේ රජතුමෙක් සමහ එයාගෙ සීයාගෙ බොහොම ලඟ මිත්‍ර සම්බන්ධයක් තිබිලා තියනවාලු. මේ බොහොම ලග මිත්‍ර සම්බන්ධය නිසා ඒ රජතුමා අණ කරලා තියනවා කවදාහරි තමන්ගේ මුනුපුරාව තමන්ගෙ මිත්‍රයාගේ මිනිපිරියකට විවාහ කරල දෙන්න කියලා. මෙන්න මේ විදිහට තමයි Chae-gyeongට සිද්ධ වෙන්නෙ බොහොම උඩඟු ඒ වගේම කිසිම හිතේ තෙතමනයක් නැති කඩවසම් Lee Shin රාජ කුමාරයා සමග විවාහ වෙන්න සිද්ධ වෙන්නෙ. තමන්ගේ සැමියාගෙන් කිසිම හව්හරනක් නැතුව ඉතාම සාම්ප්‍රදායික රජ මාලිගයේ සිරිත්විරිත් වලට තනිවම හුරු වෙන්න උත්සාහ දරන Chae-gyeong වෙත මේ කාලෙදි තමයි ඉතාම සංවේදී හදවතක් තියන දෙවනියට සිංහාසනයට උරුමකම් කියනYul කුමාරයා ලං වෙන්නෙ.මේ අතරතුරේදී රාජ කුමාරයා ආදරේ කරපු Hyo- rin බැලේ රංගන ශිල්පිනිය උත්සාහ දරනවා  සිහසුන හිමි රාජ කුමාරයාව යලිත් තමන්ගේ වසඟයට ගන්න. Yul කුමාරයා තමන්ට රජ මාලිගාවේ ජීවිතයට හැඩ ගැසෙන්නට උදව් කරාවි කියලා බලාපොරොත්තු උනත් Chae-gyeong  පුලුවන්වෙන්නෙ නෑ තමන්ගෙ සීතල හදවතක් තියන නපුරු රාජ කුමාරයා ගැන කරදර නොවී ඉන්න. ඒ නිසා තමයි Chae-gyeong ගෙ හිතේ තමන්ගේ සැමියා පිලිබඳව ටිකෙන් ටිකෙ ආදරයක් ඇති වෙන්නෙ. නපුරු සතුරන්ගෙන් පිරුණු මාලිගාවත් තමන්ගේ තනිවුනු හදවතත් එක්ක Chae-gyeong අනාගතයට මොන ආකාරයකින් මුහුණ දේවිද? 


Friday, March 7, 2014

City Hunter


නම: City Hunter/සිටි හන්ටර්/시티헌터 
වර්ගය: ක්‍රියාදාම, රොමෑන්තික
කොටස්: 20
විකාශය වූ නාලිකාව: SBS 
වසර: 2011

මේ කතාව දිග හැරෙන්නේ 2011 වසරේදී දකුණු කොරියාවේ සෝල් අගනුවරයි. Lee Yoon Sung කියන්නෙ ඇමරිකාවෙන් අධ්‍යාපනය ලැබූ දක්ෂ MIT උපධිධාරියෙක්. ඔහු කොරියානු ජනාධිපති මන්දිරය වන Blue House (නීල මන්දිරය) හි අන්තර්ජාතික සන්නිවේදන පිලිබඳ කණ්ඩායමට සේවයට බැඳෙනවා. Lee Yoon Sung ගේ අරමුණ වෙන්නේ තමන්ගේ පියාගේ මරණයට සම්බන්ධ ඉහළ පෙලේ නිලධාරීන් පස් දෙනෙකු සොයා විනාශ කර දැමීමයි. මේ සඳහා ඔහුට සහය දෙන්නෙ .Lee Yoon Sungගේ පියාගේ මිතුරා සහ Lee Yoon Sung ව හදා ගත් Kim Young Joo හිටපු හමුදා නිලධාරියායි. මෙන්න මේ අතරතුරේදී තමයි ඔහුට Kim Na Na ව මුණගැහෙන්නේ. නමුත් Kim Young Joo නිතරම Lee Yoon Sung ට කියන දෙයක් තමයි කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. කිසිම කෙනෙක් සමග ආදරයෙන් බැඳෙන්න එපා. ඔබ කවුරුද යන්න හෙළි වුනොත් ඔබත් ඔබ ආදරය කරන අය වටාත් මහා ලේ ගංඟාවක් ගලා යනු ඇති යනුවෙනුයි. 

Monday, March 3, 2014

Lie to me




ටෙලිනාට්‍ය පිලිබඳ විස්තර

නම: Lie to me/ 내게 거짓말을 해봐
වර්ගය: රොමෑන්තික, සුඛාන්ත
කොටස්: 16
ප්‍රචාරය වූ ආයතනය: SBS

ප්‍රචාරය වූ වසර: 2011

කතාව කෙටියෙන්: 

Gong Ah Jung සංස්කෘතික,ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යංශයේ රැකියාවේ නියුතු තරුණියක්. අමාත්‍යංශයේ එක්තරා එලිමහන් උත්සවයක් සංවිධානය කිරීමට ඇයට පැවරෙනවා. ඕ එය ඉතා සාර්ථකව සිදු කලත් අවසානයේදී අස්ල තිබූ මී වදයක් ඇවිස්සී සියල්ල උඩුයටිකුරු වෙනවා. සිද්ධියේ වගකීම තමාට භාර ගැනීමට සිදුවීමේ ශෝකය නිසා ඇය තැබෑරුමක් වෙත ගොස් ඉතා බීමත් වෙනවා. 

Hyun Ki Joon, World Heritage නම් ආයතනයේ අයිතිකරුයි. ඔහු කඩවසම්, දක්ෂ සහ ඉතා පොහොසත් පවුලක තරුණයෙක්. කුඩා කලදීම ඔහුගේ දෙමාපියන් මිය ගොස් ඇති නිසා ඔහු සිය සොහොයුරු වූ Sang-Hee ව ඉතා හොඳින් බලාකියා ගනී. Sang-Hee නිදහස් සෙල්ලක්කාර චරිතයක්. දිනක් Hyun Ki Joon Sang-Heeව මුනගැසීමට තැබෑරුමක් වෙත යනවා. එහිදී ඔහුට සිය බාල සහෝදරයා මග හැරෙනවා. තැබෑරුමෙන් පිටතට එද්දී Gong Ah Jungවෙරි මතින් බිම වැටී සිටිනු ඔහුට දකිනට ලැබෙනවා. ඔහු .Gong Ah Jungව රෝහලක් කරා ගෙන ගොස් පසුදා පහන් වන තෙක්ම ඇය අසල රැඳී ඉන්නවා.

Gong Ah Jung පසුදා සිය මිතුරිය වූ Yoo So Ran හමුවීමට යනවා. Yoo So Ran, Gong Ah Jungගේ පෙම්වතා සොරාගෙන ඔහු හා විවාහ වී ඉන්නවා. ඇය Gong Ah Jung ගෙන් විවාහ වී ඇත්දැයි විමසා සිටිනවා. ලජ්ජාවට පත් වන Gong Ah Jung තමා World Heritage හි අයිතිකරු හා විවාහ වී ඇති බවට බොරු කියනවා. 

Gong Ah Jungගේ බොරුව අවසානයේ සිතුවාටත් වඩා දුරදිග ගොස් World Heritage අයිතිකරු වනHyun Ki Joonටද මෙය ආරංචි වෙනවා. 



Sunday, February 23, 2014

You are Beautiful





කොරියානු ටෙලිනාට්‍ය අතුරින් ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යක් ලෙස You are beautiful  හඳුන්වා දෙන්න පුලුවන්. ඔබත් කොරියානු නාට්‍ය ප්‍රිය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ටෙලි නාට්‍යක් තමයි මේ. ඉතාමත්ම සංවේදී, ආදරණීය ප්‍රේම කතාවක් මෙම ටෙලිනාට්‍යයෙන් දිග හැරෙණවා. තරුණ හදවත් ප්‍රේමයෙන් බැඳෙද්දී ඔවුනට අත් විඳින්නට සිදුවන සතුට,දුක,කැප කිරීම්, වේදනාවන්,සුන්දර මතකයන් මේ සොඳුරු ටෙලි සිත්තමේ ඉතාමත් සංවේදී ආකාරයෙන් රසිකයින් හට පෙන්වා දෙනවා. 

ටෙලිනාට්‍යය පිළිබඳ තොරතුරු

නම: You are Beautiful/යූ ආ බියුටිෆුල්/Hangul미남이시네요hanja美男이시네요
වර්ගය: රොමෑන්තික/සුඛාන්ත
කොටස් ප්‍රමාණය:16
විකාශන ආයතනය: CBS
විකාශය වූ වසර: 2009

කතාව කෙටියෙන්:
ලෝකයේම අතිශය ජනප්‍රිය පිරිම ගායක කණ්ඩායමක් වන ඒ.න්.ජල් (ඒන්ජල්)කණ්ඩායමේ නායකයා සහ ප්‍රධාන ගායකයා වන්නේ Hwang Tae Kyung. ඔහුගේ ස්වර තන්ත්‍ර අධික මහන්සිය නිසා තෙහෙට්ටුවට පත්වෙලා. මේ තත්වය නිසා ගායක කණ්ඩායමේ කලමණාකරු තීරණයකට එලඹෙනවා අලුත් ගායකයෙක් ගායක කණ්ඩායමට බඳවා ගන්න. අලුතින් බඳවා ගන්න මේ ගායකයා තමයි Go Mi Nam.

නමුත් හදිසි ඇබැද්දියක් නිසා Go Mi Namට කණ්ඩායමට බැඳෙන්න පැමිණෙන්න අපහසු වෙනවා.Go Mi Namගේ කලමණාකරු උපක්‍රමශීලී ආකාරයට, Go Mi Namගේ නිවුන් සහෝදරිය වන .Go Mi Nyuව Go Mi Namවෙනුවට කණ්ඩායමට හඳුන්වා දෙනවා.Go Mi Namයලි එන තුරු Go Mi Nyu ට සිද්ධ වෙනවා තමන්ගේ සහෝදරයාගෙ චරිතය රඟපාන්න.

Go Mi Nyu කියන්නෙ කන්‍යා සොහොයුරියක් වෙන්න පුහුණු වෙන අහිංසක,කෙළිලොල්,සංවේදී දැරියක්. මුලින්ම මේ සැලැස්මට .Go Mi Nyu අකමැති වුණත්, තමන්ගේ සහෝදරයා වෙනුවෙන් ඇය අන්තිමට තමන්ගෙ කැමැත්ත ප්‍රකාශ කරනවා. තමන් ගැහැනු දැරියක් කියලා සොයා ගන්න නොහැකි වෙන විදියට වෙස් වලා ගෙන Go Mi Nyu ඒ.න්.ජල් කණ්ඩායමට එකතු වෙනවා.Go Mi Nyu ට ගායක කණ්ඩායමට ඇතුලත් වෙන අනෙක් සුපිරි,ඉතා කඩවසම් ගායකයින් සිව්දෙනා එක්ක ඔවුන්ටම වෙන්වූ නිවසක පදිංචියට යෑමට සිදු වෙනවා.
ලඟදීම කන්‍යා සොහොයුරියක් වීමට නියමිත Go Mi Nyu කඩවසම් ගායකයින් සිව් දෙනෙක් සමග ජීවත් වෙන්න පුරුදු වෙන්නෙ කොහොමද..... Go Mi Nyu ගැහැණු ලමයෙක් බව ඔවුන්ගෙන් කෙනෙක් හෝ දැනගනීවිද? 





















ඔබට පුලුවන් You Tube එක හරහා පහසුවෙන්ම මෙම ටෙලිනාට්‍ය නරඹන්න. සිංහල උපසිරැසි සහිතව මෙම නාට්‍ය වෙළඳපොලේ තියනවා මම දැක තියෙනවා. ඉදිරියේදී කොරියානු නාට්‍ය කිහිපයක සිංහල උපසිරැසි ගැන්වීම ඔබට නොමිලේ Download කර ගැනීමට අවස්ථාව සලසා දෙන්න මම උත්සාහ කරන්නම්. 

මේ link එකෙන් ඔබට මෙම නාට්‍යයේ සිංහල උපසිරැසි download කරගන්න පුලුවන්කම ලැබෙනවා. 
http://www.zoom.lk/forums/downloads.php?do=file&id=1070